Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දෙවියන් ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාද?

ඔබට උදව් කරනවා

ඔබට උදව් කරනවා

“දෙවිගේ ඇස් මිනිසා කෙරෙහි යොමු වී තිබේ. ඔවුන් ගන්නා සෑම පියවරක්ම ඔහු දකින්නේය.”—යෝබ් 34:21.

පුංචි දරුවෙකුට දෙමව්පියන්ගේ අවධානය හුඟක් අවශ්‍යයි

සමහරු සැක කරන හේතුව: එක අධ්‍යයනයකින් හෙළි වුණේ අපේ මන්දාකිනියේ ග්‍රහලෝක බිලියන 100ක්වත් ඇති කියලයි. එහෙමනම් ‘මේ පුංචි පෘථිවියේ ඉන්න මං දිහා නිර්මාතෘ දෙවියන් බලයිද’ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

දේවවචනයේ කියන දේ: “මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි” කියලා දෙවියන් අපිට බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා.—ගීතාවලිය 32:8.

ක්‍රිස්තු පූර්ව 20වෙනි සියවසේ ජීවත් වුණු හාගර් ගැන බලමු. හාගර් ඇගේ ස්වාමිදුව වන සාරයිව පහත් කරලා සැලකුව නිසා ඇයට ගෙදරින් යන්න සිද්ධ වුණා. ඒත් දෙවියන් ඇයව නොසලකාහැරියේ නැහැ. “යෙහෝවා දෙවිගේ දූතයා” හාගර් හම්බ වෙලා මෙහෙම කිව්වා. “ඔබ කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.” එතකොට හාගර්, යෙහෝවා “සියල්ල දකින දෙවි කෙනෙක්” කියලා කිව්වා.—උත්පත්ති 16:4-13.

“සියල්ල දකින දෙවි” ඔබටත් උදව් කරනවා. මෙහෙම හිතන්න. පුංචි දරුවෙකුට දෙමව්පියන්ගේ අවධානය හුඟක් අවශ්‍යයි. ඒ නිසා ආදරණීය අම්මා කෙනෙක් ඒ දරුවාට වැඩි අවධානයක් දෙනවා. ඒ දරුවා වගේ අපිත් අසරණ තත්වයක ඉද්දී දෙවියනුත් අපිට විශේෂ අවධානයක් දෙනවා. බයිබලයේ මෙහෙම කියනවා. “මා ජීවත් වන්නේ ඉතා ශුද්ධ වූ උස් ස්ථානයකයි. එහෙත් යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්ට මම ළංව සිටිමි.”—යෙසායා 57:15.

කොහොමවුණත් ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘දෙවියන් මං දිහා බලන්නේ කොහොමද? දෙවියන් මාව මනින්නේ මගේ පිටාතර පෙනුමෙන්ද නැත්නම් මගේ හැඟීම් තේරුම් අරගෙනද?’