Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

අපිට උදව් කරන්න දේවදූතයන්ට පුළුවන්ද?

අතීතයේදී දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණ දානියෙල්ට දේවදූතයන් උදව් කළා වගේ අදත් ශුභාරංචිය දැනගන්න ඔවුන් මිනිසුන්ට උදව් කරනවා

මිනිසුන්ව නිර්මාණය කරන්න කලින් යෙහෝවා දෙවියන් බලවත් දේවදූතයන් මිලියන ගණනක් නිර්මාණය කළා. (යෝබ් 38:4, 7) දේවදූතයන් මාර්ගයෙන් දෙවියන් තමාට සේවය කරන අයව ආරක්ෂා කරලත් තියෙනවා. මඟ පෙන්වීම් දීලත් තියෙනවා. (ගීතාවලිය 91:10, 11) අද දිනත්, යේසුස්ගේ අනුගාමිකයන් දේශනා කරන ශුභාරංචිය දැනගන්න දේවදූතයන් මිනිසුන්ට උපකාර කරනවා.එළිදරව් 14:6, 7 කියවන්න.

දේවදූතයන්ට යාච්ඤා කරන එක හරිද? නැහැ. යාච්ඤාව නමස්කාරයේ කොටසක් නිසා අපි යාච්ඤා කරන්න ඕන යෙහෝවා දෙවියන්ට විතරයි. (එළිදරව් 19:10) දේවදූතයන් දෙවියන්ගේ සේවකයන් නිසා ඔවුන් කරන්නේ දෙවියන් කියන දේ මිසක් මිනිසුන් කියන දේ නෙමෙයි. ඒ නිසා අපි යාච්ඤා කරන්න ඕන යේසුස් මාර්ගයෙන් දෙවියන්ට විතරයි.ගීතාවලිය 103:20, 21; මතෙව් 26:53 කියවන්න.

දෙවියන්ට අකීකරු වුණ දේවදූතයන් ඉන්නවාද?

දෙවියන් දේවදූතයන්ව නිර්මාණය කරද්දී මිනිසුන්ට වගේ හරි වැරැද්ද තෝරගන්න නිදහස දුන්නා. ඒත් සමහර දේවදූතයන් දෙවියන්ට අකීකරු වුණා. (2 පේතෘස් 2:4) දෙවියන්ට මුලින්ම අකීකරු වුණ දේවදූතයාව හැඳින්නුවේ සාතන් කියලයි. ඊටපස්සේ තවත් දේවදූතයන් ඔහුගේ පැත්ත ගත්ත නිසා ඔවුන් භූතයන් වුණා. සාතන්වයි භූතයන්වයි ස්වර්ගයෙන් පොළොවට හෙළුවා.එළිදරව් 12:7-9 කියවන්න.

1914 පටන් මේ ලෝකයේ දුෂ්ටකම් හා ප්‍රචණ්ඩත්වය වැඩි වෙලා තියෙනවා. ඒකෙන් පේන්නේ දෙවියන් ඉක්මනින්ම සාතන්වයි භූතයන්වයි ක්‍රියා විරහිත කරලා පොළොව කලින් තිබුණ තත්වයට පත් කරනවා කියන එකයි.එළිදරව් 12:12; 21:3, 4 කියවන්න.