“වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි”
කේන්තිය පාලනය කරගත්තේ නැති හින්දා විද්‍යාලයක ක්‍රීඩා පුහුණුකරුවෙක්ව රැකියාවෙන් අයින් කළා.
තමන්ට ඕන දේ කරගන්න බැරි වුණ පුංචි දරුවා යටිගිරියෙන් කෑගහනවා.
පුතා කාමරය හැඩි කරපු නිසා අම්මාට හොඳටම කේන්ති ගිහින්. අම්මායි පුතායි බැණගන්නවා.
අනිත් අයට කේන්ති යනවා අපි කවුරුත් දැකලා තියෙනවා. කිසිම සැකයක් නැහැ කවදා හරි අපිටත් කේන්ති ගිහින් ඇති. කේන්ති ගන්න එක නරක ගුණාංගයක්, ඒක පාලනය කරගන්න ඕන කියලා හිතුවත් අයුක්තියක් අසාධාරණයක් වුණා කියලා අපිට හිතෙද්දී කේන්ති යන එක සාධාරණයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම “කේන්ති ගන්න එක වැරදි නැහැ. ඒක සෞඛ්‍යයට හිතකරයි. ඒක මිනිසුන්ට ඇති වෙන සාමාන්‍ය හැඟීමක්” කියලා ඇමරිකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයකින් ලියපු වාර්තාවකත් පළ වුණා.
බයිබල් ලේඛකයෙක් වුණ පාවුල් දෙවියන්ගේ බලයෙන් ලිව්ව දේට අනුව ඒ අදහස සාධාරණයි කියලා පේන්න ඉඩ තියෙනවා. මිනිසුන්ට කේන්ති යනවා කියලා පිළිගත්ත ඔහු මෙහෙම කිව්වා. “ඔබ තුළ කෝපයක් ඇති වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න.” (එෆීස 4:26) ඒ විදිහට බලද්දී, අපි කේන්තිය පිට කරන්න ඕනද? නැත්නම් කේන්තිය පාලනය කරගන්න ඕනද?
කේන්තිය පිට කරන්න ඕනද?
පෙනෙන විදිහට පාවුල් කෝපය ගැන ඒ අවවාදය දුන්නේ බයිබලයේ ගීතාවලිය පොතේ තියෙන මේ අදහස ඔහුගේ හිතේ තිබුණ නිසා වෙන්න පුළුවන්. “ඔබේ සිත කැලඹුණත් පව් නොකරන්න.” (ගීතාවලිය 4:4) ඒ වගේ අවවාදයක් දුන්නේ ඇයි? ඔහු මෙහෙමත් කිව්වා. “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.” (එෆීස 4:31) පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවේ කේන්තිය පිට කරන එකෙන් වළකින්න කියලයි. ඇමරිකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයෙන් ලිව්ව ඒ වාර්තාවේ මෙහෙමත් තියෙනවා. “කේන්තිය පිට කරන එකෙන් ඇත්තටම වෙන්නේ තව තවත් කේන්තිය වැඩි වෙලා දරුණු විදිහට ක්‍රියා කරන එකයි. . . . ඒකෙන් තත්වය හොඳ අතට හැරෙන්නේ නැහැ.”
කේන්ති ගන්න එකත් කේන්ති ගත්තාම ඇති වෙන නරක ප්‍රතිඵලත් වළක්වගන්න පුළුවන් කොහොමද? අතීතයේ හිටිය නුවණැති සලමොන් රජ මෙහෙම ලිව්වා. “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි. වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.” (හිතෝපදේශ 19:11) කෙනෙක් තුළ කෝපයක් ඇති වෙද්දී “වටහාගැනීමේ ශක්තිය” තියෙන එක ඔහුට උපකාරයක් වෙන්නේ කොහොමද?
වටහාගැනීමේ ශක්තිය ඉක්මනින් කේන්ති නොගන්න උපකාරයක් වෙන්නේ කොහොමද?
වටහාගැනීමේ ශක්තිය තියෙනවා නම් මතුපිටින්
නොබලා සැබෑ තත්වය තේරුම්ගන්න පුළුවන්. අපිට කේන්තියක් ආවොත් වටහාගැනීමේ ශක්තිය තියෙන එක උපකාරයක් වෙන්නේ කොහොමද?අසාධාරණයක් වෙනවා දැක්කොත් අපිට කේන්තියක් ඇති වෙයි. ඒ වෙලාවට අපි ඒක පාලනය කරගත්තේ නැත්නම් අපිට විතරක් නෙමෙයි තවත් අයටත් හානියක් වෙන්න පුළුවන්. බුර බුරා නඟින ගින්නකට ගෙයක් ගිනිබත් කරන්න පුළුවන් වගේ කේන්තිය පිට කළොත් අපේ නම කැත වෙන්න පුළුවන්. අනිත් අය එක්ක තියෙන බැඳීම් නැති වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි දෙවියන් එක්ක තියෙන බැඳීමත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා කේන්ති යනවා කියලා දැනෙද්දිම කේන්ති යන්න හේතුව මොකක්ද කියලා අපි හිතලා බලන්න ඕනේ. ඒ ගැන සම්පූර්ණ චිත්‍රය දකින්න පුළුවන් නම් කේන්තිය පාලනය කරගන්න අපිට පුළුවන්.
සලමොන් රජගේ පියා වුණ දාවිත්ට දවසක් නාබල් කියන කෙනා එක්ක හොඳටම කේන්ති ගියා. ඒ නිසා ලොකු විනාශයක් වෙන්නයි ගියේ. දැන් අපි ඒ ගැන බලමු. යුදයේ පාළුකරයේදී දාවිත් සහ ඔහුගේ සෙනඟ නාබල්ගේ බැටළුවන්ව බලාගත්තා. ඒත් බැටළුවන්ගේ ලොම් කපන කාලෙදී දාවිත් නාබල්ගෙන් ආහාරපාන ඉල්ලුවහම නාබල් මෙහෙම කිව්වා. “කොහේදෝ ඉඳන් ආව මිනිසුන්ට මොකටද මගේ රොටියි වතුරයි දෙන්නේ? මං මොකටද මගේ බැටළුවන්ගේ ලොම් කපන අයට කන්න දෙන මස් වෙන කාටවත් දෙන්නේ?” ඒක ඇහුව දාවිත්ට හොඳටම කේන්ති ගියා. නාබල්වයි ඔහුගේ ගෙයි වැසියන්වයි මරලා දාන්න හිතාගෙන මිනිසුන් 400ක් විතර එක්ක දාවිත් පිටත් වුණා.—1 සාමුවෙල් 25:4-13.
නාබල්ගේ භාර්යාව වුණ අබිගායිල්ට ඒ ගැන ආරංචි වුණාම ඇය දාවිත්ව මුණගැහෙන්න ගියා. දාවිත්වයි ඔහුගේ සෙනඟවයි දැක්ක ගමන් ඇය දාවිත්ගේ පාමුල දණින් වැටිලා “අනේ, මගේ ස්වාමීනි, ඔබේ දාසියට යමක් කියන්න අවසර දෙන්න. මං කියන දේට සවන් දෙන්න” කියලා දාවිත්ට කිව්වා. ඊටපස්සේ ඇය නාබල් ගැන දාවිත්ට පැහැදිලි කරලා දුන්නා. ඇය කිව්වා නාබල් වැඩ කරන්නේ මහ මෝඩ විදිහට, එයාගෙන් පළිගන්න ගිහින් ලොකු ලේ වැගිරීමක් වෙයි කියලා.—1 සාමුවෙල් 25:24-31.
අබිගායිල්ගේ වචනවලින් දාවිත්ට සම්පූර්ණ චිත්‍රය දකින්න පුළුවන් වුණේ කොහොමද? නාබල් මෝඩ විදිහට වැඩ කරන කෙනෙක් කියලත් ඔහුගෙන් පළිගන්න ගියා නම් තමන් අතින් මොන තරම් අපරාධයක් වෙයිද කියලත් දාවිත් අවබෝධ කරගත්තා. දාවිත්ට වගේ ඔබටත් කේන්ති ගියොත් මොනවද කරන්න පුළුවන්? මේයෝ සායනයෙන් දුන්නේ මේ වගේ යෝජනාවක්. “හොඳ හුස්මක් ගන්න. දහයට ගණන් කරන්න.” හදිසි නොවී ප්‍රශ්නෙට හේතු වුණ දේ ගැන ටිකක් හිතන්න. කේන්තිය පාලනය කරගන්න බැරි වුණොත් සිද්ධ වෙන දේ ගැන කල්පනා කරලා බලන්න. වටහාගැනීමේ ශක්තිය පාවිච්චි කළොත් කේන්තිය පාලනය කරගන්නත් කේන්තිය නිවාගන්නත් පුළුවන් වෙයි.—1 සාමුවෙල් 25:32-35.
ඒ විදිහට හුඟක් අයට කේන්තිය පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. උදාහරණයකට, පෝලන්තයේ සෙබස්තියන් ගැන බලමු. වයස අවුරුදු 23දී ඔහු හිටියේ හිරේ. හිරේ ඉද්දී බයිබලය පාඩම් කරන්න අවස්ථාව ලැබුණ හින්දා කේන්තිය පාලනය කරගන්න ඔහු ඉගෙනගත්තා. “කේන්ති යන්න හේතුව මොකක්ද කියලා ඉස්සෙල්ලම මම හිතලා බලනවා. ඊටපස්සේ බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගන්න උත්සාහ කරනවා. බයිබලයේ තමයි ඒකට හොඳම මඟ පෙන්වීම් තියෙන්නේ” කියලා ඔහු කිව්වා.
සෙට්සූඕ කියන කෙනාත් මෙහෙම කියනවා. “මාත් එක්ක වැඩ කරන අය කේන්ති යන දේවල් කෙරුවාම මං ඒගොල්ලන්ට බණිනවා. ඒත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ මං වෙනස් වුණා. ඒගොල්ලන්ට කෑගහන්න ඉස්සෙල්ලා ‘ඇත්තටම කාගේ අතේද වරද තියෙන්නේ, වරදට හේතුව මම නේද’ කියලා මම හිතනවා.” ඒ විදිහට හිතන්න පුරුදු වුණ නිසා ඉක්මනින් කේන්ති ගන්නේ නැතුව ඉන්නත් කේන්තියක් ආවොත් ඒක පාලනය කරගන්නත් පුළුවන් වුණා.
කේන්ති ගන්නේ නැතුව ඉන්නත් කේන්තිය පාලනය කරගන්නත් ලේසි නැහැ. ඒත් දෙවියන්ගේ වචනය බලවත්. බයිබලයේ තියෙන නැණවත් උපදෙස් අදාළ කරගන්නවා නම්, ඔහුගේ උපකාරය ඉල්ලලා යාච්ඤා කරනවා නම් වටහාගැනීමේ ශක්තිය පාවිච්චි කරලා ඉක්මනින් කේන්ති ගන්නේ නැතුව ඉන්නත් කේන්තියක් ආවොත් ඒක පාලනය කරගන්නත් පුළුවන් වෙනවා.