ජීවිත වෙනස් කළ පොතක්
හරි උත්තර මට ලැබුණා
ඉපදුණ අවුරුද්ද: 1987
රට: අසර්බයිජානය
ඉතිහාසය: තාත්තා මුස්ලිම් අම්මා යුදෙව්
මගේ අතීතය:
මම ඉපදුණේ අසර්බයිජානයේ. මට ඉන්නේ අක්කා විතරයි. මගේ තාත්තා මුස්ලිම්, අම්මා යුදෙව්. ඒ දෙන්නා ආදරෙන් හිටියා. රාමසාන් කාලෙදී අම්මා තාත්තාට සහයෝගය දුන්නා. පාස්කුව කාලෙදී තාත්තාත් අම්මාට සහයෝගය දුන්නා. අපේ ගෙදර කුරානයයි යුදෙව් ආගමේ ටෝරා කියන පොතයි බයිබලයයි තිබුණා.
මමත් ඒ කාලේ මුස්ලිම්. ඒත් මගේ හිතට වධ දුන්න ප්‍රශ්න කීපයක් තිබුණා. දෙවියන් මිනිසුන්ව මැව්වේ ඇයි? අපි මුළු ජීවිත කාලෙම දුක් විඳලා අපායටත් ගිහින් දුක් විඳින එකේ තේරුම මොකක්ද? හැම දේම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නම් දෙවියන් මිනිසුන්ට වධ දිදී ඒ අය දුක් විඳින විදිහ බලබල සතුටු වෙන කෙනෙක්ද?
මම මුස්ලිම් කෙනෙක් හින්දා අවුරුදු 12 ඉඳලා දවසට පස් පාරක් යාච්ඤා කෙරුවා. ඒ කාලෙදිම තාත්තා මාවයි අක්කාවයි යුදෙව් ආගමේ ඉස්කෝලෙකට යැව්වා. ඉස්කෝලෙදී අනිත් විෂයන් වගේම ටෝරා වත්පිළිවෙතුත් හෙබ්‍රෙව් භාෂාවත් ඉගැන්නුවා. හැමදාම පන්තිය පටන්ගන්න කලින් යුදෙව් ආගමේ විදිහට යාච්ඤා කෙරුවා. උදේට ගෙදරින් යන්න කලින් මුස්ලිම් විදිහටත් ඉස්කෝලෙට ගියහම යුදෙව් ආගමේ විදිහටත් යාච්ඤා කළා.
ප්‍රශ්නවලට තර්කානුකූල උත්තර හොයාගන්න මට ඕන වුණා. ඒ නිසා ඉස්කෝලේ ඉගැන්නුව යුදෙව් ආගමික නායකයන්ගෙන් මම නිතරම මේ ප්‍රශ්න ඇහුවා. “දෙවියන් මිනිසුන්ව මැව්වේ ඇයි? මගේ මුස්ලිම් තාත්තා දිහා දෙවියන් බලන්නේ කොහොමද? තාත්තා වගේ හොඳ කෙනෙක්ව යුදෙව් ආගමේ විදිහට අපවිත්‍ර කෙනෙක් විදිහට සලකන්නේ ඇයි? දෙවියන් ඇයි එයාව මැව්වේ?” මේ ප්‍රශ්නවලට සාධාරණ උත්තර ලැබුණේ නැහැ.
මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:
දෙවියන් ගැන තිබුණු විශ්වාසය 2002දී සම්පූර්ණයෙන්ම නැති වුණා. එහෙම වුණේ අපි ජර්මනියට ගිහිල්ලා සතියකට පස්සේ තාත්තාට අංශභාගේ හැදිලා සිහිය නැති වුණ හින්දා. මම අවුරුදු ගාණක් තිස්සේ දෙවියන්ගෙන් ඉල්ලුවේ පවුලේ අයට කරදරයක් වෙන්න දෙන්න එපා කියලයි. මම විශ්වාස කළේ ජීවිතයයි මරණයයි තියෙන්නේ දෙවියන්ගේ අතේ කියලයි. ඒ නිසා තාත්තාව සනීප කරන්න කියලා හැමදාම දෙවියන්ට කන්නලව් කළා. ‘පුංචි දැරියකගේ මේ ප්‍රාර්ථනාව ඉටු කරන එක දෙවියන්ට සුළු දෙයක්’ කියලා මං හිතුවා. මට හොඳ විශ්වාසයක් තිබුණා මගේ කන්නලව්වට දෙවියන් හොඳ උත්තරයක් දෙයි කියලා. ඒත් තාත්තා මැරුණා.
ඉල්ලපු දේ දෙවියන් දුන්නේ නැති හින්දා හොඳටම කලකිරුණ මම හිතුවේ ‘මං යාච්ඤා කරපු විදිහ වැරදි වෙන්න ඇති. නැත්නම් දෙවියන් කියලා කෙනෙක් නැතුව ඇති’ කියලයි. ඒ නිසා යාච්ඤා කරන එක නැවැත්තුවා. අනිත් ආගම් ගැනත් මට විශ්වාසයක් තිබුණේ නැති නිසා දෙවි කෙනෙක් නැහැ කියලා මං තීරණය කළා.
ඊට මාස හයකට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවා. මටයි අක්කාටයි ඕන වුණේ ඒ අය වැරදියි කියන එක කාරුණිකව පෙන්නලා දෙන්නයි. අපි ඇහුවා “දසපනතේ රූප වඳින්න එපා කියලා තියෙද්දී ක්‍රිස්තියානි අය යේසුස්ටයි, කුරුසෙටයි, මරියාටයි, අනිත් රූපවලටයි වඳින්නේ ඇයි” කියලා. එතකොට සාක්ෂිකරුවන් බයිබලයෙන්ම තර්කානුකූලව උත්තර දුන්නා. ඒ අය පෙන්නුවා සැබෑ ක්‍රිස්තියානීන්ට නම් රූප වන්දනාව තහනම් කරලයි තියෙන්නේ, යාච්ඤා කරන්න ඕන දෙවියන්ටයි කියලා. මට පුදුම හිතුණා.
අපි සාක්ෂිකරුවන්ගෙන් මෙහෙමත් ඇහුවා. “ත්‍රිත්වය ගැන ඔයාලා හිතන්නේ මොකක්ද? යේසුස්, දෙවියන් නම් එයා පොළොවේ ජීවත් වුණේ කොහොමද? මිනිසුන්ට දෙවි කෙනෙක්ව මරන්න පුළුවන්ද?” යේසුස්, දෙවියන් නෙවෙයි කියලත් ඔහු දෙවියන්ට සමාන නැහැ කියලත් සාක්ෂිකරුවන් බයිබලයෙන්ම පෙන්නුවා. ඒ නිසයි අපි ත්‍රිත්වය විශ්වාස කරන්නේ නැත්තේ කියලා ඒ අය කිව්වා. මට කට උත්තර නැතුව ගියා. ‘මේගොල්ලෝ නම් අමුතු ක්‍රිස්තියානි කට්ටියක්’ කියලා හිතුණා.
මිනිස්සු මැරෙන්නේ ඇයි, දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලත් මට දැනගන්න ඕන වුණා. ඒ නිසා සාක්ෂිකරුවන් ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම’ * කියන පොත පෙන්නුවා. මං අහපු ප්‍රශ්නවලට උත්තර, පරිච්ඡේද පිටින්ම ඒකේ තිබුණා. ඒ අය ඉක්මනින්ම මාත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා.
පාඩම කරපු හැම දවසකම මගේ ප්‍රශ්නවලට බයිබලයෙන්ම උත්තර ලැබුණා. දෙවියන්ගේ නම යෙහෝවා කියලත් දැනගත්තා. (ගීතාවලිය 83:18) ඔහුගේ ප්‍රධාන ගුණාංගය ප්‍රේමයයි. (1 යොහන් 4:8) ඔහු මිනිසුන්ව නිර්මාණය කෙරුවේ ජීවිතය කියන තෑග්ග අනිත් අය එක්ක බෙදාගන්න කැමති වුණ නිසයි. ඔහු දැනට අයුක්තියට අසාධාරණයට ඉඩ දීලා තිබුණත් ඒවා ළඟදීම නැති කරනවා කියලත් මිනිසුන් දුක් විඳින්නේ ආදම් සහ ඒව කැරලිගැහුව නිසා කියලත් මිනිසුන්ට මරණය උරුම වුණේ ඒ නිසයි කියලත් දැනගත්තා. (රෝම 5:12) ඒ හින්දයි මගේ ආදරණීය තාත්තා වගේ තවත් අයත් මරණයට ගොදුරු වෙලා තියෙන්නේ. ඒත් දෙවියන් මේ පොළොව පාරාදීසයක් කරන දාට ඒ අය ආපහු ජීවත් වෙනවා විතරක් නෙමෙයි දුකට හේතු වෙන කිසිම දෙයක් තියෙන්නෙත් නැහැ.—ක්‍රියා 24:15.
හරි උත්තර මට ලැබුණ නිසා ආපහු දෙවියන් ගැන විශ්වාසයක් ඇති වුණා. සාක්ෂිකරුවන්ව කිට්ටුවෙන් ආශ්‍රය කරද්දී ඒ අය ලෝකේ පුරාම එක පවුලක් වගේ ඉන්නවා කියලා තේරුණා. එයාලා අතරේ තියෙන්නේ පුදුම එකමුතුකමක්! පුදුම ප්‍රේමයක්! (යොහන් 13:34, 35) යෙහෝවා දෙවියන් ගැන මං ඉගෙනගත්ත දේවල් නිසා මට ඕන වුණා ඒ දෙවියන්ට සේවය කරන්න. ඒ නිසා මම සාක්ෂිකරුවෙක් හැටියට 2005 ජනවාරි 8වෙනිදා බව්තීස්ම වුණා.
මං දැන් අද්දකින ආශීර්වාද:
විශ්වාස කරන්න පුළුවන් තර්කානුකූල උත්තර ලැබුණ නිසා ජීවිතය දිහා සුබවාදීව බලන්න මම පටන්ගත්තා. මගේ හිතට ලොකු සහනයක් දැනුණා. මං ආසාවෙන් බලාගෙන ඉන්නේ දෙවියන් මගේ තාත්තාව නැවත නැඟිට්ටවන කල්.—යොහන් 5:28, 29.
දැන් මම ජොනතන් එක්ක අවුරුදු හයක් තිස්සේ සතුටින් විවාහ ජීවිතය ගත කරනවා. අපි දෙන්නම තේරුම් අරන් ඉන්නවා දෙවියන් ගැන සත්‍යය සරලයි තර්කානුකූලයි කියලා. ඔහු ගැන ලැබුණ ඒ දැනුම මිල කරන්න බැරි වස්තුවක්. ඒ නිසා දෙවියන් ගැන සත්‍යයත් අපිට තියෙන බලාපොරොත්තුවත් ගැන අපි අනිත් අයට කියනවා. සාක්ෂිකරුවන් “අමුතු” ක්‍රිස්තියානි කට්ටියක් නෙමෙයි සැබෑ ක්‍රිස්තියානීන් කියලා දැන් මම දන්නවා.
^ 15 ඡේ. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්. දැන් එය මුද්‍රණය කරන්නේ නැහැ.