Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවාද?

මැරුණ අයට බලාපොරොත්තුවක් තියෙනවාද?

මැරුණ අයට බලාපොරොත්තුවක් තියෙනවාද?

ආපහු ජීවත් වෙන්න පුළුවන්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි: “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම [යේසුස්ගේ] හඬ ඇසෙන කාලය පැමිණෙනවා.”යොහන් 5:28, 29.

යේසුස් කිව්වේ අනාගතයේ ඔහුගේ පාලනය යටතේ සිද්ධ වෙන දෙයක් ගැනයි. එදාට සොහොන් ගෙවල් හිස් වෙනවා. “යොහන් 5:28, 29 මුල්ම වතාවට කියෙව්වාම මට පුදුම හිතුණා. ඒක කොච්චර හොඳ බලාපොරොත්තුවක්ද” කියලා කලින් ලිපියේ සඳහන් ෆර්නාන්ඩෝ කියනවා.

මැරුණොත් තමන්ව දෙවියන් නැවත නැඟිටුවයි කියලා විශ්වාසවන්ත යෝබ්ට බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා ඔහු මෙහෙම ඇහුවා. “මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?” විශ්වාසයෙන් යුතුව ඔහුම උත්තරේ දුන්නා. “මට නියම කළ කාලය [මිනී වළේ] අවසන් වී, මාව නිදහස් කරන තුරු මම බලා සිටින්නෙමි. ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි.”—යෝබ් 14:14, 15.

ලාසරුස්ව වගේ අපිවත් නැවත නැඟිටුවයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්

ලාසරුස්ගේ සහෝදරිය වන මාර්තාට නැවත නැඟිටීම අලුත් දෙයක් වුණේ නැහැ. ලාසරුස් මැරුණාට පස්සේ යේසුස් ඇයට මෙහෙම කිව්වා. “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි.” එතකොට මාර්තා කිව්වේ “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී ඔහු නැඟිටින බව මම දන්නවා” කියලයි. ඊටපස්සේ යේසුස් කිව්වා “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි. මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි” කියලා. (යොහන් 11:23-25) පස්සේ යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වා. මේ වාර්තාව අනාගතයේදී පුළුල්ව සිද්ධ වෙන නැවත නැඟිටීම් ගැන අදහසක් ලබා දෙනවා. මැරිලා ඉන්න හැමෝම නැවත නැඟිටිද්දී කොයි තරම් ප්‍රීතියක් තියෙයිද!

සමහර අයට ස්වර්ගයේ ජීවනය ලැබෙයිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි: බයිබලයේ තියෙන අනිත් නැවත නැඟිටීම් 8ටම වඩා යේසුස්ගේ නැවත නැඟිටීම වෙනස්. ඒ 8දෙනාම නැඟිට්ටේ පොළොවේ ජීවත් වෙන්නයි. ඒත් “නැවත නැඟිටෙවූ යේසුස් ක්‍රිස්තුස් . . . ස්වර්ගයට ගොස් . . . දැන් සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙහිය” කියලා කියනවා. (1 පේතෘස් 3:21, 22) ස්වර්ගයේ ජීවනය ලබන්නේ යේසුස් විතරද? පොළොවේදී ඔහුගේ නියෝජිතයන්ට ඔහු කිව්වේ මෙහෙමයි. “මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කරනවා නම් මම නැවත එන බව මතක තබාගන්න. එවිට මම ඇවිත් ඔබව මගේ නිවසට පිළිගන්නවා. ඒ අනුව මා සිටින තැන ඔබටත් සිටිය හැකියි.”—යොහන් 14:3.

යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ ඔහුගේ අනුගාමිකයන්ව ස්වර්ගයට ගන්න සැලසුම් යෙදුවා. ඔවුන්ගේ සංඛ්‍යාව 1,44,000ක්. (එළිදරව් 14:1, 3) ඔවුන් එහෙදී මොනවා කරයිද?

ඔවුන්ට හුඟක් වැඩ තියෙයි. මොකද බයිබලයේ මෙහෙම කියනවා. “පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය, ශුද්ධය. දෙවෙනි මරණයට ඔවුන් ගොදුරු වන්නේ නැත. ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.” (එළිදරව් 20:6) ස්වර්ගික ජීවිතයක් ලබන අය යේසුස් එක්ක හවුල් වෙලා අනාගතයේදී රජවරුන් හැටියටත් පූජකයන් හැටියටත් පොළොව පාලනය කරනවා.

ඊළඟට නැවත නැඟිටුවන්නේ කාවද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි: නියෝජිත පාවුල් මෙහෙම කිව්වා. “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව මට විශ්වාසයි. දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා. මට විතරක් නොවෙයි මෙහි සිටින සියලුදෙනාටත් ඒ බලාපොරොත්තුව තිබෙනවා.”ක්‍රියා 24:15.

මැරුණු බිලියන ගණන් අය නැවත නැඟිටිනවා කියලා දේවවචනයෙන් සහතිකයක්

පාවුල් කිව්ව ධර්මිෂ්ඨ අය කවුද? විශ්වාසවන්තව හිටපු දානියෙල්ට ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී දෙවියන් කිව්වා “ඔබ සැතපී සිටිනු ඇත. එහෙත් ඔබට වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔබ ආපසු නැඟිටිනු ඇත” කියලා. (දානියෙල් 12:13) සැතපී ඉන්න දානියෙල් නැවත නැඟිටින්නේ කොහේ ජීවත් වෙන්නද? බයිබලයේ කියන්නේ “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියලයි. (ගීතාවලිය 37:29) යේසුස් ඒක සනාථ කරමින් “මෘදු ගුණැති අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි” කියලා කිව්වා. (මතෙව් 5:5) දානියෙල්ව වගේම විශ්වාසවන්ත ස්ත්‍රීන් හා පුරුෂයන්ව නැවත නැඟිටුවනවා. ඔවුන්ට සදහටම ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා.

අධර්මිෂ්ඨ අය කවුද? තමන්ගේ ජීවිත කාලයේදී බයිබලයේ තියෙන සත්‍යයන් අවබෝධ කරගන්න අවස්ථාවක් නොලැබුණ අය. ඔවුන් නැවත නැඟිටුණාම යෙහෝවා * දෙවියන් හා යේසුස් ගැන ඉගෙනගෙන ඔවුන්ට කීකරු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. (යොහන් 17:3) දෙවියන්ට සේවය කරන්න තීරණය කරන හැමෝටම සදහටම ජීවත් වෙන්න පුළුවන්.

දෙවියන්ට සේවය කරන්න තීරණය කරන හැමෝටම නිරෝගීව, ප්‍රීතියෙන් සදහටම ජීවත් වෙන්න පුළුවන්

එදාට පොළොව මොන වගේ වෙයිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි: දෙවියන් “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළිදරව් 21:4) “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය.”—යෙසායා 65:21.

නැවත නැඟිටුණ ප්‍රේමණීය අය එක්ක ජීවත් වෙන්න ලැබෙන එක මොන තරම් සතුටක්ද! ඒත් නැවත නැඟිටීම සීයට සීයක් විශ්වාස කරන්න පුළුවන්ද?

^ 15 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.