Skip to content

පටුනට යන්න

ගිනිකොනදිග ආසියාව පුරා සත්‍යාලෝකය පතුරුවන්න දායක වුණු “ලයිට්බෙයාර” නැව

ගිනිකොනදිග ආසියාව පුරා සත්‍යාලෝකය පතුරුවන්න දායක වුණු “ලයිට්බෙයාර” නැව

 1930 ගණන්වල මුල්භාගය වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන්දුනීසියාවේ, මලයාසියාවේ සහ දැන් පැපුවා නිව් ගිනියාව කියලා හඳුන්වන රටේ ශුභාරංචිය දේශනා කරලා තිබුණේ නැහැ. ඒ අවශ්‍යතාව තේරුම්ගත්ත ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලය (දැන් ඔස්ට්‍රලේසියාවේ ශාඛා කාර්යාලය) ශුභාරංචිය ඒ රටවලට ගෙන යන්න මීටර 16ක් (අඩි 52ක්) දිග කුඹගස් දෙකක් තිබුණු රුවල් නැවක් සල්ලිවලට ගත්තා. ඒකට එන්ජිමකුත් සවි කරලයි තිබුණේ. දුර ඈත රටවලට සත්‍යයේ ආලෝකය විහිදුවන්න දායක වුණු පුරෝගාමීන් a තමයි ඒ නැවේ ගමන් කළේ. ඒ නිසා ඒක ආලෝකය දරන්නා කියන අර්ථය ඇති “ලයිට්බෙයාර” කියන නමින් හැඳින්නුවා.—මතෙව් 5:14-16.

නිව් ගිනියාවේ කරපු සේවය

 1935 පෙබරවාරි මාසයේ නාවිකයන් හත්දෙනෙක් “ලයිට්බෙයාර” නැවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල ඉඳලා උතුරු දෙසින් පිහිටි නිව් ගිනියාවේ මෝර්ස්බි වරාය දෙසට යාත්‍රා කරන්න පටන්ගත්තා. එයාලා ගමන් කළේ ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර වෙරළ තීරය දිගෙයි. ඒ ගමන අතරතුරේදී එයාලා කෑමට මාළු ඇල්ලුවා. ඒ වගේම ඉන්ධන ලබාගන්නත් අවශ්‍ය අමතර ආහාර ලබාගන්නත් අලුත්වැඩියා කටයුතු කරන්නත් වරායන් කිහිපයකම නතර කළා. 1935 අප්‍රියෙල් 10වෙනිදා එයාලා ක්වීන්ස්ලන්තයේ කුක්ටවුන්වල ඉඳන් මහා බාධක පරය හරහා මුහුද දෙසට යාත්‍රා කරන්න පටන්ගත්තා. එහෙම යාත්‍රා කරද්දී එයාලා රුවල පාවිච්චි කරනවා වෙනුවට නැවේ එන්ජිම ප්‍රයෝජනයට අරගෙනයි යාත්‍රා කළේ. ඒත් බලාපොරොත්තු නොවුණු විදිහට එකපාරටම එන්ජිමෙන් ලොකු සද්දයක් ආපු නිසා එයාලට එන්ජිම නතර කරන්න සිද්ධ වුණා. එයාලා ආපහු හැරිලා යයිද? නැත්නම් නිව් ගිනියාවටම යයිද? නැවේ කපිතාන් වුණු එරික් උවින්ස් කිව්වේ “අපි කොහොමටවත් ආපහු හැරිලා යන්නේ නැහැ” කියලයි. අන්තිමට 1935 අප්‍රියෙල් 28වෙනිදා “ලයිට්බෙයාර” නැව කිසිම අනතුරක් නැතුව මෝර්ස්බි වරායට ළඟා වුණා.

“ලයිට්බෙයාර” නැවේ නාවිකයන්: විලියම් හන්ටර්, චාල්ස් හැරිස්, ඇලන් බක්නල් (ඉදිරියෙන්), ඇල්ෆ්‍රඩ් රෝ, ෆ්‍රෑන්ක් ඩියුවර්, එරික් උවින්ස්, රිචඩ් නට්ලි

 කාර්මිකයෙක් එන්ජිම අලුත්වැඩියා කරන අතරතුරේදී ෆ්‍රෑන්ක් ඩියුවර් හැරෙන්න අනිත් හැමෝම මෝර්ස්බි වරායේ ඉන්න අයට ශුභාරංචිය කියන්න පටන්ගත්තා. “වෙහෙස මහන්සි නොබලා සේවයේ යෙදුණු පුරෝගාමියෙක්” විදිහට කවුරුත් හඳුන්වපු ෆ්‍රෑන්ක් මෙහෙම කිව්වා. ‘මම පොත් තොගයකුත් අරන් කිලෝමීටර් 32කටත් (සැතපුම් 20කටත්) වඩා ඇවිදගෙන ඒ ප්‍රදේශයේ හිටිය පදිංචිකරුවන්ව හොයාගෙන ගියා.’ ආපහු එන අතරතුරේදී වෙනස් පාරකින් ආපු නිසා කිඹුලන් ඉන්න ගඟක් හරහා ගමන් කරන්නත් එයාට සිද්ධ වුණා. ඒ කොහොමවුණත් එයා පරෙස්සමින් ආව නිසා එයාට පුළුවන් වුණා කිසි අනතුරක් නැතුව ආපහු නගරයට එන්න. නාවිකයන්ගේ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබුණා. ඒ කාලේදී පොත් පත් ලබාගත්ත අය පස්සේ කාලෙක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වුණා.

ජාවාවල කරපු සේවය

 එන්ජිම අලුත්වැඩියා කරලා ඉවර වුණු ගමන්ම “ලයිට්බෙයාර” නැව මෝර්ස්බි වරායෙන් පිට වෙලා නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත්වලට (දැන් වැඩි ප්‍රමාණයක් අයිති ඉන්දුනීසියාවටයි) අයිති ජාවා දූපත දෙසට යාත්‍රා කළා. අවස්ථා කිහිපයකදී අවශ්‍ය දේවල් ලබාගන්න නතර වුණත් 1935 ජූලි 15වෙනිදා බටේවියා (දැන් ජකර්තා) වරායට එයාලා ආවා.

 ඒ අවස්ථාවේදී චාල්ස් හැරිස් දිගටම උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන්න ජාවාවල නතර වුණා. b එයා මෙහෙම කිව්වා. “ඒ දවස්වල . . . අපේ ප්‍රධාන වැඩය වුණේ හැම නගරයකම අපේ පොත් පත් බෙදන එක. ඒ නිසා අරාබි, චීන, ඕලන්ද, ඉංග්‍රීසි සහ ඉන්දුනීසියානු භාෂාවලින් මං පොත් පත් අරන් ගියා. ගොඩක් අය ඒවා කියවන්න කැමති වුණ නිසා සාමාන්‍යයෙන් එක අවුරුද්දකදී පොත් පත් 17,000ක් විතර බෙදන්න මට පුළුවන් වුණා.”

“ලයිට්බෙයාර” රුවල් නැව

 උද්‍යෝගයෙන් සේවය කරමින් හිටිය චාල්ස්ව ඕලන්ද බලධාරීන්ගේ අවධානයට ලක් වුණා. දවසක් නිලධාරියෙක් ජාවාවල සාක්ෂි දරමින් හිටිය සාක්ෂිකරුවෙක්ගෙන් ඇහුවා චාල්ස් සේවය කරමින් හිටිය ප්‍රදේශය වන නැඟෙනහිර ජාවාවල කීදෙනෙක් සේවය කරනවාද කියලා. එයා උත්තර දුන්නේ “එක් කෙනෙක්” කියලයි. ඒත් නිලධාරියා සැරෙන් මෙහෙම කිව්වා. “මට කියන්නේ ඒක පිළිගන්න කියලාද? එච්චර පොත් ගොඩක් බෙදන්න නම් සෑහෙන කට්ටියක් එහේ ඉන්නම ඕනේ.”

සිංගප්පූරුවේ සහ මලයාසියාවේ කරපු සේවය

 “ලයිට්බෙයාර” නැව ඉන්දුනීසියාවෙන් පිටත් වෙලා අගෝස්තු 7වෙනිදා සිංගප්පූරුවට ආවා. ගමන අතරතුරේදී නැව නැවැත්තුව හැම තැනකදීම සහෝදරයන්, පටිගත කරපු බයිබල් දේශන වාදනය කළා. නැවේ තිබුණු ප්‍රබල ඇම්ප්ලිෆයර් එකකුත් ශබ්ද විකාශන යන්ත්‍රත් යොදාගෙනයි එයාලා ඒ දේශන වාදනය කළේ. ඒ ක්‍රමයට ශුභාරංචිය දේශනා කරන එකෙන් හුඟදෙනෙක්ට පණිවිඩය දැනගන්න ලැබුණා. ඒ ගැන එක පුවත්පතක මෙහෙම සඳහන් වුණා. “බදාදා රාත්‍රියේදී . . . මුහුද දෙසින් ලොකු හඬක් නික්මුණා. ඒ හඬින් අහන්න ලැබුණේ සුවිශේෂී දේශනයක්. . . . ඕස්ට්‍රේලියාවේ ඉඳන් සිංගප්පූරුවට පැමිණි වොච්ටවර් සමිතියේ වැඩසටහන් විකාශනය කරන ‘ලයිට්බෙයාර’ නැවෙනුයි ඒ දේශනය අහන්න ලැබුණේ . . . . කාලගුණය හොඳ දවස්වලදී ඒ වැඩසටහන් සැතපුම් දෙකක්, තුනක් (කි.මී. 3ක් හෝ 4ක්) විතර ඈතින් ඉන්න කෙනෙක්ට වුණත් හොඳින් ඇහෙනවා.”—Singapore Free Press.

 “ලයිට්බෙයාර” නැව සිංගප්පූරුවේ නතර කරලා තියෙද්දී ෆ්‍රෑන්ක් ඩියුවර් අලුත් පැවරුමක් කරන්න පිටත් වුණා. ඒ අවස්ථාව ගැන ෆ්‍රෑන්ක් මෙහෙම විස්තර කළා. “නැව නතර කළාට පස්සේ අපි සිංගප්පූරුවේ පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. නැව පිටත් වෙන්න යද්දී එරික් උවින්ස් මං හිතුවේවත් නැති දෙයක් මට කිව්වා. එයා මෙහෙම කිව්වා. ‘ඔයා කිව්වානේ සියමේ (දැන් තායිලන්තයේ) දේශනා කරන්න යන්න ඕනෙ කියලා. දැන් ඔයාට ඒකට අවස්ථාව තියෙනවා. අපිට ඔයාව එක්කං යන්න නම් දුර වැඩියි. ඔයා තනියෙන් යන්න.’ මං ගොඩක් පුදුම වෙලා එයාගෙන් මෙහෙම ඇහුවා. ‘මං කොහොමද සියමට යන්නේ? අඩුම ගානේ ඒක කොහෙද තියෙන්නේ කියලවත් මං දන්නේ නෑනේ!’” ඊටපස්සේ එරික් ෆ්‍රෑන්ක්ට කිව්වා ක්වාලාලම්පූර්වලට (දැන් මලයාසියාවට අයත් වෙනවා) ගිහින් එතැන ඉඳන් කෝච්චියෙන් සියමට යන්න පුළුවන් කියලා. එරික් කියපු විදිහටම ෆ්‍රෑන්ක් ක්වාලාලම්පූර්වලට ගිහින් කෝච්චියෙන් ගමන යන්න පිටත් වුණා. මාස කීපයකට පස්සේ එයා තායිලන්තයට ගියා. c

 “ලයිට්බෙයාර” නැව සිංගප්පූරුවේ ඉඳන් මලයාසියාවේ බටහිර වෙරළ තීරය දිගේ උතුරු දෙසට ගමන් කරන්න පටන්ගත්තා. ඒ ගමන අතරතුරේදී මලයාසියාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි ජොහෝර් බහරු, මුආර්, මෙලකා, ක්ලැං, පොර්ට් ස්වෙට්නම් (දැන් පොර්ට් ක්ලැං), පීනැං කියන වරායන්වල නැවැත්තුවා. ඒ හැම වරායකදීම නැවේ ඉඳන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන පටිගත කරපු බයිබල් දේශන එයාලා වාදනය කළා. ඒ කාලේ ඉන්දුනීසියාවේ සේවය කරමින් හිටිය සහෝදරියක් වන සාන් ඩේෂාන් මිනිස්සු දක්වපු ප්‍රතිචාරය ගැන කිව්වේ මෙහෙමයි. “එහෙ අයට තිබුණේ පුදුම උනන්දුවක්. පාවෙන පීරිසියක් ආවත් මිනිස්සු මෙච්චර උනන්දු වෙන එකක් නැහැ.” දේශන වාදනය කළාට පස්සේ සහෝදරයන් වෙරළට ඇවිත් උනන්දුව දක්වපු අයට පොත් පත් බෙදුවා.

සුමාත්‍රාවල කරපු සේවය

 ඊටපස්සේ නැව පීනැං වරායේ ඉඳන් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා සුමාත්‍රාවල (දැන් ඉන්දුනීසියාවේ කොටසක්) මෙඩන්වලට යාත්‍රා කළා. එරික් උවින්ස් ඒ අවස්ථාව ගැන කිව්වේ මෙහෙමයි. “අපි මෙඩන් දිස්ත්‍රික්කයේ හිටිය කාලය හරිම සතුටින් ගත කළා. හුඟක් අය ශුභාරංචියට ඇහුම්කන් දුන්නේ හරිම උනන්දුවෙන්.” ඒ ප්‍රදේශයේ පොත් පත් 3,000ක් විතර බෙදලා දෙන්න සහෝදරයන්ට පුළුවන් වුණා.

 “ලයිට්බෙයාර” නැව ආයෙත් ගමන පටන් අරන් යන අතරතුරේදී සුමාත්‍රාවේ නැඟෙනහිර වෙරළ තීරයේ තිබුණු ප්‍රධාන වරායන්වල නවත්වලා සහෝදරයන් දේශනා කළා. 1936 නොවැම්බර් මාසයේදී එයාලා සිංගප්පූරුවට ආවා. එහෙට ඇවිත් සති කීපයකට පස්සේ නැවේ කපිතාන් වුණු එරික් උවින්ස් සිංගප්පූරුවේ හිටපු සාක්ෂිකරුවෙක් වුණු අයිරීන් ස්ට්‍රවුස් එක්ක විවාහ වුණා. එරික් සහ අයිරීන් එකතු වෙලා සුමාත්‍රාවල පුරෝගාමී සේවය කරන්න පිටත් වෙලා ගියා. “ලයිට්බෙයාර” නැවට අලුත් කපිතාන් කෙනෙක්ව ඕන වුණා.

බෝර්නියෝවල කරපු සේවය

 පුහුණුව ලබපු නාවිකයෙක් වුණු නෝමන් සින්යෝ 1937 ජනවාරි මාසයේදී සිඩ්නිවල ඉඳන් අලුත් කපිතාන් විදිහට සේවය කරන්න ආවා. ඊටපස්සේ නාවිකයන් බෝර්නියෝවලටත් සෙලිබීස්වලටත් (දැන් සුලවෙසිවලටත්) නැවෙන් ගිහින් ඒ ප්‍රදේශ පුරාම දේශනා කළා. සාක්ෂි දරන්න ඒ දූපත්වල කිලෝමීටර් 480ක් (සැතපුම් 300ක්) තරම් ඇතුළට එයාලා ගියා.

 “ලයිට්බෙයාර” නැව බෝර්නියෝවල සැමරින්ඩා වරායට ආවාට පස්සේ වරාය භාර ප්‍රධානියා ඒ පැත්තේ ඉන්න අයට දේශනා කරන එක තහනම් කළා. ඒත් නෝමන් අපි කරන දේශනා වැඩය ගැන එයාට පැහැදිලි කළාට පස්සේ එයා අපි කරපු වැඩයට සහයෝගය දුන්නා. පොත් පත් පවා ගත්තා.

 තවත් අවස්ථාවකදී එක පූජකයෙක් එයාගේ පල්ලියට ඇවිත් දේශනයක් දෙන්න කියලා නෝමන්ට ආරාධනා කළා. ඒත් නෝමන් දේශනයක් ඉදිරිපත් කරනවා වෙනුවට පල්ලියට ගිහින් තැටි වාදන යන්ත්‍රයකින් බයිබල් දේශන පහක් වාදනය කළා. පූජකයාත් ඒ දේශනවලට කැමති වුණා. එයා එයාගේ යාළුවන්ට දෙන්න පොත් පත් පවා ඉල්ලගත්තා. හැබැයි මේ පූජකයා විතරයි පූජකයන්ගෙන් ඒ වගේ හොඳ ප්‍රතිචාරයක් දැක්වුවේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරපු දේශනා වැඩයට අනිත් පූජකයන් හැමෝම විරුද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි ඒ නිර්භීත නාවිකයන් එක්ක එයාලට කොච්චර කේන්ති ගියාද කිව්වොත් බලධාරීන්ගෙන් එයාලා ඉල්ලුවා “ලයිට්බෙයාර” නැව අනිත් වරායන්වලට යන එක තහනම් කරන්න කියලා.

“ලයිට්බෙයාර” නැව ගිය ගමන් මඟ (ප්‍රදේශ පෙන්වා ඇත්තේ ඒ කාලේදී හඳුන්වපු නම්වලිනුයි)

ඕස්ට්‍රේලියාවට නැවත ආවා

 පූජකයන්ගේ කීම අහපු බලධාරීන් “ලයිට්බෙයාර” නැවට දාපු තහනම නිසා 1937 දෙසැම්බර් මාසයේදී නැව ආපහු ඕස්ට්‍රේලියාව දෙසට ගමන් කරන්න පටන්ගත්තා. නාවිකයන් නැව 1938 අප්‍රියෙල් මාසයේදී සිඩ්නි වරායේ නවත්වන්න තීරණය කළා. එයාලා එහෙම කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට සහභාගි වෙන්නයි. එයාලා ආපහු සිඩ්නිවලට ආවේ අවුරුදු තුනකට විතර පස්සෙයි. ඕස්ට්‍රේලියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරපු ගමන්ම ඒ කියන්නේ 1940 ගණන්වල මුල්භාගයේදී නැව විකුණුවා. “ලයිට්බෙයාර” නැව “අරගත්ත එකේ අරමුණ හොඳින්ම ඉටු වුණා” කියලා සහෝදර උවින්ස් කිව්වා. එයා මෙහෙමත් කිව්වා. “නැවේ ගත කරපු කාලය තමයි මගේ ජීවිතේ හොඳම කාලය.”

“ලයිට්බෙයාර” නැවෙන් ඉටු වුණු නොමැකෙන කාර්යය

 “ලයිට්බෙයාර” නැවේ නාවිකයන් විශාල ජනගහනයක් ඉන්න ලොකු ප්‍රදේශයක රාජ්‍යයේ බීජ වැපිරුවා. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණත් එයාලගේ සේවයට හොඳ ප්‍රතිඵල ලැබුණා. (ලූක් 8:11, 15) ඒ රටවල්වල දැන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් 40,000කට වැඩිය ඉන්නවා. සත්‍යාලෝකය විහිදවපු නැවයි, ඒකේ ගමන් කළ නිර්භීත නාවිකයන් කිහිපදෙනායි එකතු වෙලා කරපු මහඟු කාර්යය සැමදා අපේ මතකයේ තියෙයි.

a පුරෝගාමීන් කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණකාලීන සේවකයන්ටයි.

b චාල්ස් හැරිස්ගේ ජීවිත කතාව 1994 ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වෙනවා.

c ‘1991 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ’ 187වෙනි පිටුව බලන්න.