Skip to content

පටුනට යන්න

ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?

ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?

 ත්‍රස්තවාදී ක්‍රියාවක් වුණාම හුඟක් අය මෙහෙම හිතනවා. ‘දෙවියන් ඇත්තටම අපි ගැන සැලකිලිමත්ද? ඇයි මේ වගේ දේවල් වෙන්නේ? ත්‍රස්තවාදය a නැති කාලයක් කවදා හරි එයිද? මං කොහොමද මේ බයෙන් ගොඩ එන්නේ?’ ඒ වගේ ප්‍රශ්නවලට උත්තර බයිබලෙන් හොයාගන්න පුළුවන්.

ත්‍රස්තවාදය ගැන දෙවියන් හිතන්නේ කොහොමද?

 අපරාධ, මිනී මැරුම්, ත්‍රස්තවාදය වගේ දේවල් දෙවියන් පිළිකුල් කරනවා. (ගීතාවලිය 11:5; හිතෝපදේශ 6:16, 17) එක අවස්ථාවක යේසුස් ඔහුගේ ගෝලයන් දරුණු විදිහට හැසිරුණාම එයාලට තදින් අවවාද කළා. (මතෙව් 26:50-52) ප්‍රචණ්ඩකාරී දේවල් කරන සමහර අය කියනවා එයාලා ඒ දේවල් කරන්නේ දෙවියන් වෙනුවෙන් කියලා. හැබැයි දෙවියන් කවදාවත් ඒ වගේ දේවල් කරන්න අවසර දීලා නැහැ. අඩුම තරමේ ඒ වගේ අයගේ යාච්ඤාවලටවත් දෙවියන් ඇහුම්කන් දෙන්නේ නැහැ.—යෙසායා 1:15.

 ත්‍රස්තවාදයෙන් බැට කන අය ඇතුළු දුක් විඳින හැමෝම ගැන දෙවියන් ඇත්තටම සැලකිලිමත් වෙනවා. (ගීතාවලිය 31:7; 1 පේතෘස් 5:7) දෙවියන් ළඟදීම මේ සිද්ධ වෙන හැම අපරාධයක්ම අවසන් කරන්න යනවා කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා.—යෙසායා 60:18.

ත්‍රස්තවාදයට මුල

 බයිබලේ කියනවා “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියලා. (දේශනාකාරයා 8:9) ඇත්තටම ත්‍රස්තවාදයට මුල් වෙලා තියෙන හේතුවත් ඒකම තමයි. ඉතිහාසය පුරාම බලය තියෙන අය එයාලගේ බලපුළුවන්කාරකම් පෙන්නන්න ත්‍රස්තවාදී ක්‍රියා කරලා තියෙනවා. ඒවායින් බැට කන අයත් ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන්න පෙලඹිලා තියෙනවා.—දේශනාකාරයා 7:7.

ත්‍රස්තවාදය නැති කාලයක්

 ත්‍රස්තවාදය ඇතුළු මිනිසුන් බයෙන් ඉන්න හැම දෙයක්ම නැති කරලා පොළොවට සාමය උදා කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 32:18; මීකා 4:3, 4) ඔහු ඒ දේ කරන්නේ කොහොමද?

  •   ත්‍රස්තවාදයට හේතු වෙලා තියෙන ප්‍රධානම දේ නැති කරනවා. දෙවියන් පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරලා මුළු පොළොවටම එක ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ආණ්ඩුවේ රජ විදිහට ඔහු පත් කරලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ව. ඔහු හැමෝටම යුක්තිය ඉටු කරලා දෙනවා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ඔහු නැත්තටම නැති කරලා දානවා. (ගීතාවලිය 72:2, 14) ඒ කාලේදී ත්‍රස්තවාදී ක්‍රියාවලට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මිනිසුන් ‘දසත පැතිරී තිබෙන සාමය නිසා මහත් සේ ප්‍රීති වෙනවා.’—ගීතාවලිය 37:10, 11.

  •   ත්‍රස්තවාදය නිසා ඇති වෙලා තියෙන හැම නරක දෙයක්ම නැති කරනවා. ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ශාරීරිකව, මානසිකව වේදනා විඳින හැමෝටම දෙවියන් සුවයක් ලබා දෙනවා. (යෙසායා 65:17; එළිදරව් 21:3, 4) ඒ විතරක් නෙවෙයි ජීවිත නැති වෙලා තියෙන අයට ආයෙත් ජීවිතය දෙනවා කියලත් ඔහු පොරොන්දු වෙලා තියෙනවා.—යොහන් 5:28, 29.

 බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා දෙවියන් ඒ දේවල් කරන්න යන කාලය අත ළඟටම ඇවිත් කියලා. ඒත් සමහරවිට ඔයාට හිතෙයි දෙවියන් තාමත් ත්‍රස්තවාදය නැති කරලා නැත්තේ ඇයි කියලා. ඒකට උත්තරේ දැනගන්න ඔයා කැමති නම් ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

a සාමාන්‍යයෙන් “ත්‍රස්තවාදය” විදිහට හඳුන්වන්නේ යම් ආණ්ඩුවක, ආගමක නැත්නම් සමාජයේ වෙනසක් කරන අරමුණින් ප්‍රචණ්ඩ ක්‍රියා කරන එකට. නැත්නම් එහෙම කරනවා කියලා තර්ජනය කරන එකට. ත්‍රස්තවාදීන් හුඟක් වෙලාවට ඉලක්ක කරන්නේ සාමාන්‍ය ජනයාව. ඒත් ඒ වගේ ක්‍රියාවක් ඇත්තටම ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට සලකන්න බැහැ කියලා තර්ක කරන අයත් ඉන්නවා.