හැමෝටම යුක්තිය ඉටු වෙන කාලයක් එයිද?
අද බලන බලන තැන දකින්න තියෙන්නේ අයුක්තිය, අසාධාරණය. ඒ වගේ සිද්ධි හුඟක් අතරින් අසාධාරණ විදිහට සිරදඬුවම් විඳින්න වුණු කීපදෙනෙක් ගැන බලමු.
2018 ජනවාරි මාසයේ එක්සත් ජනපදයේ අවුරුදු 38ක් පුරා හිරේ හිටපු කෙනෙක්ව නිදහස් කරන්න කියලා තීන්දුවක් ලැබුණා. මොකද DNA පරීක්ෂණවලින් ඔප්පු වුණා ඒ අපරාධය කරලා තියෙන්නේ එයා නෙවෙයි කියලා.
1994 සැප්තැම්බර් මාසයේදී අප්‍රිකාවේ තරුණයන් තුන්දෙනෙක්ව හිරේ දැම්මා. එහෙම කළේ එයාලගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවයට බැඳෙන්නේ නැතුව ඉන්න ගත්ත තීරණය හින්දයි. 2020 සැප්තැම්බර් වෙද්දී එයාලා හිරේ හිටපු කාලය අවුරුදු 26ක්. ඒ වගේ දඬුවමක් දුන්නාට අපරාධයක් කළා කියලා අදටත් එයාලට විරුද්ධව කිසිම චෝදනාවක් එල්ල කරලා නැහැ. ඒ වගේම උසාවියේදී එයාලගේ නිර්දෝෂකම ඔප්පු කරන්න අවස්ථාවක් දීලාත් නැහැ.
ඔයාත් අසාධාරණකම්වලට මුහුණ දීලා තියෙනවා නම් බයිබලයේ කියන යෝබ්ට වගේ ඔයාටත් දැනිලා ඇති. යෝබ් කිව්වා “මා විලාප නඟා පිහිට පැතුවද කිසිවෙක් මට යුක්තිය ඉටු කර දුන්නේ නැත” කියලා. (යෝබ් 19:7) හැමෝටම යුක්තිය ඉටු වන කාලයක් පේන තෙක් මානයකවත් නැහැ කියලා අපිට හිතුණත් ඒ වගේ කාලයක් එනවා කියලා බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම දැන් සිද්ධ වෙන අසාධාරණකම්වලට හොඳින් මුහුණ දෙන්නත් බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපිට උදව් වෙනවා.
අසාධාරණකම් වෙන්නේ ඇයි?
ලෝකේ පුරාම මෙච්චර අසාධාරණකම් වෙන්නේ හුඟක් මිනිස්සු දෙවියන්ගේ මඟ පෙන්වීම් ගාණකටවත් ගන්නේ නැති නිසයි. යෙහෝවා දෙවියන් හැම දේකදීම යුක්තිය ඉටු කරනවා. (යෙසායා 51:4) බයිබලේ “යුක්තිය” සහ “ධර්මිෂ්ඨකම” කියලා පරිවර්තනය කරලා තියෙන වචන දෙක අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා. (ගීතාවලිය 33:5) කෙනෙක් ධර්මිෂ්ඨව වැඩ කරනවා නම් ඒ කියන්නේ දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්තිවලට අනුව හරි දේ කරනවා නම් එතන යුක්තිය තියෙනවා. අනික් අතට අයුක්තිය ඇති වෙන්නේ පාපය නිසා. ඒ කියන්නේ දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වෙන්නේ නැති නිසා. ඒ ගැන උදාහරණ කිහිපයක් බලමු.
ආත්මාර්ථකාමී නිසා. තමන් ගැන විතරක් හිතලා වැඩ කරන එකයි, පාපයයි අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා. (යාකොබ් 1:14, 15) හුඟක් අය තමන්ට ඕන දේ ලබාගන්න අනිත් අයට අසාධාරණ විදිහට සලකනවා. ඒත් දෙවියන් කැමති අපි හැම තිස්සේම අනිත් අයගේ සතුට ගැන හිතලා වැඩ කරනවාටයි.—1 කොරින්ති 10:24.
නොදැනුවත්කම නිසා. සමහර අය තමන් කරන දේවල් නිසා අනිත් අයට අසාධාරණයක් වෙනවා කියලා දන්නෙවත් නැහැ. ඒත් එහෙම වැඩ කරන එකත් දෙවියන් සලකන්නේ වැරැද්දක් විදිහටයි. (රෝම 10:3) මේ වෙන කල් ලෝකේ වෙලා තියෙන ලොකුම අසාධාරණකම්වලින් එකක් තමයි යේසුස්ට මරණ දඬුවම දීපු එක. ඒකටත් නොදැනුවත්කම හේතුවක් වෙලා තියෙනවා.—ක්‍රියා 3:15, 17.
අසාර්ථක මිනිස් සංවිධාන නිසා. දේශපාලනික, ව්‍යාපාරික සහ ආගමික සංවිධාන පෙන්නන්න හදනවා එයාලා මිනිස්සුන්ට හොඳ විදිහට සලකලා යුක්තිය ඉටු කරනවා කියලා. ඒත් ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. එයාලම තමයි දූෂණය, අනිත් අයව පහත් කරලා සලකන එක, කෑදරකම, ඇති නැති පරතරය සහ තමන්ගෙම මතය හරි කියලා හිතන එක වගේ අසාධාරණකම්වලට හේතු වෙන දේවල් කරන්නේ. ඒ සංවිධානවල ඉන්න සමහර අයට හරි දේ කරන්න උවමනාවක් තියෙනවා. ඒත් එයාලත් දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිගන්නේ නැති නිසා අන්තිමට එයාලා ගන්න හැම වෑයමක්ම අසාර්ථක වෙනවා.—දේශනාකාරයා 8:9; යෙරෙමියා 10:23.
අසාධාරණකම් ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?
අනිත් අයට අසාධාරණකම් කරන එකට විතරක් නෙවෙයි ඒ වගේ දෙයක් කරන්න හිතන එකටවත් දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. (හිතෝපදේශ 6:16-18) “යෙහෝවා a දෙවි වන මම යුක්තියට ප්‍රිය කරමි. අධර්මිෂ්ඨකමත් සොරකමත් මම හෙළාදකිමි” කියලා ලියන්න දෙවියන් අනාගතවක්තෘ යෙසායාට මඟ පෙන්නුවේ ඒ නිසයි.—යෙසායා 61:8.
අනිත් අයට සාධාරණව සලකන එක යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා කියලා ඔහු ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියෙන් පැහැදිලි වෙනවා. අල්ලස් ගන්නවත් යුක්තිය පෙරළන කිසිම දෙයක් කරන්නවත් එපා කියලා දෙවියන් එදා හිටපු විනිශ්චයකරුවන්ට අණ කරලා තිබුණා. (ද්විතීය කතාව 16:18-20) දෙවියන් කියපු විදිහට වැඩ කරන්නේ නැතුව දුප්පත් අසරණ අයගෙන් අයුතු ප්‍රයෝජන ගත්ත ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් දඬුවම් කළා.—යෙසායා 10:1-3.
දෙවියන් කවදා හරි අසාධාරණය නැති කරයිද?
ඔව්. දෙවියන් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අසාධාරණයට මූලිකම හේතුව වෙලා තියෙන පාපය සම්පූර්ණයෙන්ම අයින් කරන්න යනවා. එදාට මිනිසුන්ට ලැබෙන්නේ දෙවියන් මුලින්ම අරමුණු කළා වගේ කිසිම අඩුවක් නැති පරිපූර්ණ ජීවිතයක්. (යොහන් 1:29; රෝම 6:23) ඒ විතරක් නෙවෙයි ඉදිරියේදී හැම කෙනෙක්ටම සීයට සීයක්ම යුක්තිය ඉටු කරන්න යන ආණ්ඩුවක් දෙවියන් පිහිටුවලා තියෙනවා. (යෙසායා 32:1; 2 පේතෘස් 3:13) ස්වර්ගයේ පිහිටුවලා තියෙන මේ ආණ්ඩුව ගැන තවත් විස්තර දැනගන්න ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.
එදාට අපිට මොන වගේ ජීවිතයක් ලැබෙයිද?
පොළොවේ අස්සක් මුල්ලක් නෑර එදාට යුක්තිය ඉටු වෙද්දී හැමෝටම කිසි බයක් සැකක් නැතුව සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. (යෙසායා 32:16-18) දෙවියන්ට හැම කෙනෙක්ම එක වගේ වටිනවා. ඒ නිසා ඔහු හැමෝටම සාධාරණව සලකනවා. මුහුණ දෙන්න වුණු අසාධාරණකම් නිසා දැනෙන දුක, වේදනාව වගේම ඒ අමිහිරි මතකයනුත් සදහටම නැති වෙලා යනවා. (යෙසායා 65:17; එළිදරව් 21:3, 4) තවත් විස්තර දැනගන්න “දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ මොනවාද?” කියන ලිපිය බලන්න.
අසාධාරණකම් නැති කාලයක් ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද?
ඔව්. බයිබලේ තියෙන හුඟක් අනාවැකි දැනටමත් ඉටු වෙලා තියෙනවා. ඒකේ ඉතිහාසය ගැන, විද්‍යාව ගැන තියෙන තොරතුරු සීයට සීයක්ම හරි. ඒ වගේම බයිබලේ තියෙන අදහස් අතර කිසිම ගැටීමක් නැහැ. ඒ දේවල්වලින් පැහැදිලියි බයිබලයේ දීලා තියෙන පොරොන්දු විශ්වාස කරන්න පුළුවන් කියලා. මේ ලිපිවලින් ඒ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන්.
අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න ඕනෙද?
දෙවියන්ට විශ්වාසවන්තව හිටපු අයත් අසාධාරණකම්වලට මුහුණ දෙන්න වෙද්දී ඒ වෙනුවෙන් යම් පියවර අරන් තියෙනවා. උදාහරණයකට නියෝජිත පාවුල්ට අසාධාරණ නඩු විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා එයාගේ ජීවිතය වුණත් නැති වෙන්න ඉඩ තිබුණා. ඒ වගේ අසාධාරණයක් වෙන්න ඉඩ දීලා නිකම්ම බලන් ඉන්නේ නැතුව එයාට තිබුණු නීතික අයිතිවාසිකම් පාවිච්චි කරලා පාවුල් සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුවා.—ක්‍රියා 25:8-12.
කොහොමවුණත් අද සිද්ධ වෙන හැම අසාධාරණයක්ම නවත්තන්න මිනිසුන්ට බැහැ. (දේශනාකාරයා 1:15) ඒ වුණත් අසාධාරණකම්වලට හොඳින් මුහුණ දෙන්න දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන විශ්වාසයක් ඇති කරගන්න එක හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන් වෙලා තියෙනවා දැනෙන කනස්සල්ලෙන් ගොඩ ඇවිත් සතුටින් ඉන්න.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.